lankablogger

Monday, June 20, 2011

අම්මා ඇවිත් ගියාය.......

ඒ දවස් දෙක තුනට මං ආයෙත් ඇගේ පුංචි දෝණි උනෙමි...'දු තේ හැදුවා','ඔන්න සෝයා හැදුවා ඔයා ආසයි නෙ','මොනාද හොයන්නේ ආ මං රෙදි ඔක්කොම සේදුවා', '  කෝ දෙන්න මං අතු ගාන්නම් දු නිදා ගන්න ..මට නිදි මත නෑ'
මෙකි නොකී තව දේ ....නිවාඩුවට ඇවිත් මාව නිවාඩු යැව්වාය..

තාමත් එදා වගෙමයි අම්මේ හොඳට අනපු බත් කටේ රස.....ඇඟිලි තුඩු ඔලුවෙ දුවද්දි දැනෙන සනීපේ.....කවදාවත් විලවුන් නොගෑ ගතින් එන මගෙ අම්මිගෙ සුවඳ....තුරුලෙ දැනෙන සෙනෙහසෙ උණුසුම......එදා වගෙම අදත් දැනුනා....

අම්මි කන්න ආසම අයිස් ක්‍රීම් නිසා අපි දෙන්නා කලින්ම ගෙනත් තිබ්බා,ආසයි කියන්නෙ ආය බතුත් නොකා කයි tub එකක් උනත්..ඔන්න ඉතින් cup එක පුරවලා බෙදාගත්තා ,කටක් කෑවා ,'දු තාත්ති මොනවා කනවද දන්නෙ නෑ නේද?' ඔන්න ඉතින් කෑම ඉවරයි .අම්මිගෙ තාත්තිට තියෙන සෙනෙහස,බැඳීම ,ගෞරවය හරීම පුදුමාකරයි.මොකද බිරඳක් විදිහට ජීවිතේ ලැබිය යුතු ගොඩක් දේවල් දහසකුත් ආර්ථික සමාඡීය ප්‍රශ්න නිසා ඇයට හිමි උනෙ නෑ..අත කණ කර පාලු දවස් තමයි වැඩි....ගොඩක් වෙලාවට අලුත් අඳුමක් ලැබුනෙ නෑ අවුරුද්දටවත්......ඒත් කවදාවත් තාත්ති වෙනුවෙන් උපන් ඒ මහා සෙනෙහස නම් ශේෂ උනේ නෑ(අදටත් මං හිතන් නෙ මේ ලෝකෙ වාසනාවන්තම පිරිමියා අපෙ තාත්තා කියලයි ,ඈ වැනි බිරිඳක් ලැබු).

හැමදාම ඉස්සරවෙලා බත් බෙදුවෙ තාත්තිට,තාත්තා නැතත් ගෙදර මුලින්ම බෙදලා  අයින් කරා.ගොඩක් වෙලාවට 'මං ආස නෑ'  කිය කිය බිත්තර ,කරවල ,මාලු අපෙ පිඟන් වලට ආවා.....එදා නොදැනුනත් දැන් දනෙනවා අම්මේ ඔය සෙනෙහසෙ තරම......

කවදාවත් ගෙදර ඉද්දි මං උයලා නෑ,ඔය පොල් ටිකක් ගානවා මිසක, මොකද අම්මි කියන්නේ ' බැන්දම පස්සේ කොහොමත් උයන්න වෙන එකෙ දැන් නිදහසෙ ඉන්න කියලා'.....ඒත් මං බය වෙලා හිටියෙ බැඳලා ආවට පස්සේ රසට උයා ගන්න බැරි වෙයිදෝ කියලා ,නෑ අම්මි තරම් රසට නැතත් අම්මිගෙ වට්ටෝරු වලටම උයා ගන්න අමාරු උනෙ නෑ .මොනා හැදුවත් හීනෙන් වගෙ මතක් වෙනවා අම්මි ඒක හදපු හැටි.

අද බිරිඳක් ලේලියක් ගැහැනියක් විදිහට මං දන්නා විදිහට මා සාර්ථක වන්නේත් නේක ගැටලු උපේක්ෂාවෙන් ඉවසීමෙන් දකින්නේත් මා ලැබූ උපාඨිය නිසාවත් සමාඡීය දැනුම නිසාවත් නොව ඇය බිරිඳක මවක ලේලියක ලෙස දකිමින් ඇගෙන්ම උගනිමින් ඈ හාම යමින්ය.

අම්මාට මා සේම මට අම්මාවද රටක් රාඡ්‍යක් සේ වටී .දුරින් උන්නත් මා ඇය නොඅමතන දවසක් නැති තරම්ය .එදා කුඩා කල මා දෙඩු හැම දෙ ඇය අසා උන්නා සේම අද ඇයගෙ යෝඡනා,චෝදනා,ඕපාදුප රස විඳිමින් මමද අසා හිඳිම..ඇගෙ හඞ විටක බැනුම් පවා මා සිත නිවාලයි......ඇය දමා ගිය තුවාය ලබන මාසය වන තෙක් ඒ සුවඳ මට දෙනු ඇත....

අවසානයට මෙ ගීපදයෙන් සටහන නිම කරමි.අම්මේ ඔබට තෙරුවන් සරණයි.....!!!!!


ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩනා
ඒ හිරු එළියෙ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව් තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා....

No comments:

Post a Comment