lankablogger

Monday, June 20, 2011

එක කුස උන් සුවඳින් සෙනෙහස බැඳුනා.........

"අයියෝ දෝණි තමුසෙට බෝල් කරන්න බෑ, යනවකෝ වද නොදි"...ලොකු අයියාගෙ සද්දෙට මං අඞාගෙන ගියෙ තාත්ති ගාවට.....
"අයියලා මාව ගන්නේ නෑ සෙල්ලම් කරන්න"....
කවදත් මා තාත්තිගෙ හුරතලාය.ඔහු සැම විට මගෙ පැත්තේය
"නවත්තනවා සෙල්ලම ,කෙල්ලව අඞවන්නෙ නැතුව".
විකට් එකට අටවලා තිබ්බ ලී කෑල්ල බැට් එකෙන් වැදුන පාරට බැට් එකත් එක්කම බිම වැටුනා.... කඳුලු පුරෝගෙන පොඩි අයියා බැට් එක අහුලගෙන දුවිලි පිහින ගමන් මං දිහා බැලුවා.අනේ මට අද වගෙ මතකයි ඒ ඇස් වල තරහක් වෛරයක් ගෑවිලාවත් තිබුනේ නෑ.ලොකුඅයියත් අහක බලාගෙන යන්න ගියා.මං ආයෙත් හූ තියලා අඞන්න  ගත්තා, ඒ පාර අම්මි
"මොකද ලමයෝ..."
"තාත්ති අයියලාට සෙල්ලම් කරන්න දුන්නේ නෑ ,විකට් කැඩුවා..පව්ව්ව් අයියලා....හෑ හෑ හෑ"

මං තමයි ගෙදර වරප්‍රසාද ලාභියා....මං ගියේ නගරයෙ තිබ්බ ඡනප්‍රියම Convent එකට.අයියලා දෙන්නා ලඟ තිබුන පුංචි පාසලට.මට ඉස්කෝලෙ අඳින්න ගවුම් 2-3 තිබ්බා.එයාලා එකම කලිසම විලුඹෙන් අඟල් ගානක් උඩට එන කම් ඇන්දා.මට ඡර්සිය ඉරෙද්දි සපත්තු කැඩෙද්දි එසනයෙන්ම නැතත් අලුත් ඒවා ලැබුනා.අනෙ මගෙ අයියලාගෙ මේස් වලින් එලියට පැන්න ඇඟිලි සපත්තුවෙනුත් එළියට පැනලා  ඡර්සි වල වැලමිට ගාවින් ලොකු හිල් හැදිලා  ,පොත් බෑග් එකෙ Zip එක කැඩුන නිසා ඒවට කටු ගහලා.එයාලට ලැබුනෙ කහ පාට අර උල් කරන්න කරන්න කැඩෙන බාල පැන්සල්,කෑම පෙට්ටියට හැමදාම ගෙදර හදපු දෙයක්. මට ඡෑම්පාන්   , බනිස්  , බිස්කට්  ,10 ට බොන්න බීම  මේවා  ඉතින්  හැමදාම  ලැබුනෙත්  නෑ ) .
ඉතින් එයාලට වෙනස් කමකට නෙවෙයි ඒ වෙද්දි සුලු පඩියක් ගත්ත තාත්තිට දරුවෝ හැමෝටම එක වග වියදම් කරන්න බැරි උනා.මං බාලයා නිසා අයියලාට ැඩි යමක් මට ලැබුනා ඒත් කවදාත් උන් දෙන්නා නංගිට විතරයි අපිට නෑ කියලා රණ්ඩු උනෙ නෑ.නොතෙරෙන පුංචි කාලේ ඉඳලා මේ අද වෙනකම් ඡීවිතෙ ගොඩක් දේවල් මං වෙනුවෙන් කැප කරලා මට වෙර දීලා මට දිරි දීලා අද මං දිහා ඈත ඉඳන් බලන් අම්මා තාත්ති තරමටම සතුටු වෙන ආඬම්බර වෙන මගේ ආදරණීය ආයියලා දෙන්නා මගෙ ජීවිතය ලබද්දිම මං ලබපු වටිනාම ත්‍යගයයි.

මේ වෙද්දි මං මොන්ටිසෝරි යනවා.පොඩි අයියා 3 ,ලොකු අයියා 5 . ඒ දවස් වල ඉස්කෝල වල බිස්කට් දෙනවා .පොඩි අයියා හැමදාම ඒ බිස්කට් ගෙදර ගේනවා.මං ඉතින් මග බලන් ඉන්නෙ එනකම්.දෙන්නත් එක්ක ගෙ ඉස්සරහ ගල් පඩියෙ ඉඳ ගෙන ප්ලේනටි වල ඔබලා බිස්කට් කනවා.අපි දෙන්නා තමයි යාලුවෝ ලොකු අයියා ගොඩක් වෙලාවට අපේ හතුරා.පොත් ඇද්දා,චෝක් කැඩුවා ආදි කල නොකල ගොඩක් දේ වලට ලොකුගෙන් ටොකු පාර ගුටි පාර කන මගෙ සහයට එන පොඩිටත් බඩ පුරා ලැබෙනවා.අපි ඉතින් එක එක උප්පරවැට්ටි දාලා හවසට තාත්තිගෙන් ලොකුට ඉල්ලලා දෙනවා.නැත්තන් හවසට තාත්ති ගේන කඩල වලින් භාගයක්ම හංග  ගන්නවා.ආ තව මට හතුරෙක් හිටියා,සූ නැන්දගෙ පුතා,එහෙ ගියොත් ඇත්තන් ඌ මට අරියාදුවයි.එයාට නම් පොඩි අයියා දෙනවා පාර ආය ආය ඇඞෙන්න.හැබැයි ඉතින් වලියක් දා ගත්තම "අපරාදෙ මං බිස්කට් ඇද්දෙ හැමදාම " කියලත් නොකියනවාම නෙවෙයි.අපෙ පොඩි මෑන්.පොඩි කාලෙ ඉඳන් මගෙ යාලුවා,ආරක්ෂකයා,දුක් ගන්නා...

කාලෙකදි  අපි 3 ම fit උනා තුන් දෙනාම set වෙලා කානිවල් ගියා.ටවුමෙ ඉඳල දෙන්නා මාරුවෙන් මාරුවට බයිසිකලෙ  මාව තියන් ආවා.මෝටර් ක්රොස් බලන්න ගියා.රේසර් රෝද කරත්ත හදාගෙන තේ වත්තේ පැද්දා.ඒ වැටුන තුවාල කැලැල් නම් තාමත් තියෙනවා.හවසට අම්මිත් එක්ක ලිප වටේට තිබ්බ බංකු වල ඉඳ ගෙන රසට කිරි තේ  බිව්වා, ඇඟිලි බිස්කට් කකා .අනේ ඒ අහිංසක අපේ පුංචිකාලේ කවදාවත් අප මතකයෙන් වෙන් කරන්න පුලුවන්ද...?එපා කවදාවත්  එපා.....

ටික ටික ලොකු වෙද්දි පොඩි කොලු set එකට වැටුනා ,මං ඉතිං හෙමිට ලොකුට ලං උනා.ලොකුට යාලුවො නම දාලා තිබ්බෙ "උපාසක" කියලා.මස් ,මාලු , දුම් ,රස්තියාදු මොකුත් නෑ.අපි දෙන්න කැමති එකම වගෙ සිංදු වලට මතකයි සල්ලි එකතු කරලා දිවුල්ගෙ වික්ටර්ගෙ කැසට් ගත්තා.නාට්‍ය බලන්න ගියා. උම්මග්ගෙ සැලලිහිණිය ගැන කතා කලා .ලොකු අයියට ඉගෙන ගන්න ඕන කම තිබ්බත් ඒක කර ගන්න අමාරු උනා.අයියලා දෙන්නටම ඕන උනේ තාත්තිට හයියක් වෙන්න.එයාලා ඒ දෙ උපරිමයෙන් කලා.මට ඉගැන්නුවෙ,වියදම් කලේ,තව පාරක් උ/පෙ කරෙව්වේ මගෙ ලොකු අයියා.මං අද යම් තැනක ඉන්නවා නම් ඒ ගෞරවයේ හිමිකාරිත්වයෙ බොහෝ කොටසක් ඔහු සතුයි.අයියලා දෙන්නා මදි වී මා තව අයියෙකුගෙ වන තුරා මාගෙ සෙවනැල්ල මෙන් උන්නෙ ඔහුයි.ඒ වන තුරුත් අප වෙනුවෙන්ම කැප වුවා මිසක තමන්ට කියා පෙම්වතියක් වත් සතු උනෙ නෑ.

ජීවිතයේ කාල පරාස දෙකකදි මගෙ සොහොයුරන් මට ලබා දුන් සෙනෙහස,රුකවරණය,ආදරය,ගෞරවය දෙස  බලන කල
"අයියෙක් නැති කෙනෙක් මහා අවාසනාවන්තයි" කියලා මං කිව්වොත් මංපොඩ්ඩක් වත් වැරදි නෑ.......

පසු කාලීනව ඡීවීතයේ නොයෙකුත් හැල හැප්පීම් මැද අපි ඈත් උනත් සහෝදරත්වය ඉක්වා යන බැඳීම් වලට අපි වඩා ලං උනත් එකිනෙකට වෙනස් ජීවන රටා සමාජ රටා වලට අනුගත වුවත් ඒ ප්‍රේමනිය සහෝදරත්වයේ උණුසුම අපේ හදවත් වලින් ඈත් උනෙ නැහැ වෙන්නෙත් නැහැ...අදත් රස කෑමක් කද්දි,අලුත් ඇඳුමක් ගද්දි මගෙ හොටු කොල්ලෝ දෙන්නා මතක් වෙන එක මට නවත්තන්න බෑ.අදත් "දෝණීයෝ" කියා ඔවුන් මා අමතන විට හෝ ඔවුන් හමු වී දොඩන විට එහි ඉන්නේ පරිනත අප නොව එදා සෙනෙහෙන් වෙලි ඔවුනට ඔවුන්වම පමණක් හිමි වූ නොදරුවෝමය......

ලං වෙන්න ඔබේ සහෝදරයන්ට තවත් තව තවත්....වැරදි ඇතත්...ඔවුන් මේ ජීවිතයේදී ඔබ ලබන අනර්ඝතම ත්‍යගයයි.වෙන් කරන්න ඔබේ කාලයෙන් බිඳක් ඔවුන් වෙනුවෙන්......අවසානයේදි නන්දා සේම මමද කියමි...."පෙම් කවි ගොතනා කිවි වරුනේ සුපසන්.....සෝයුරැ පෙම ගැන නව කවි ගී පවසන්"

No comments:

Post a Comment